Friday, July 11, 2014


පිරිත   
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලද ධර්ම කොට්ඨාසය ශ්‍රී සද්ධර්මය යනුවෙන් හැඳින් වේ. පුරා වසර 45 ක කාල පරාසයක් තිස්සේ දෙවි බඹුන් මිනිසුන් ආදී කොට ඇති සියලුම සත්ත්වයින්ගේ ලෞකික ලෝකෝත්තර සුවයම බලාපොරොත්තුවෙන් උන්වහන්සේ විසින් දුක සේ අවබෝධ කරන ලද චතුරාර්ය සත්‍යය ධර්මය ලෝ සතුන් කෙරෙහි මහත් අනුකම්පාවෙන්ම දේශනා කළ සේක. එසේ දේශනා කරන ලද ධර්මය තුල අන්තර්ගතව ඇති විශේෂ දේශනා සමුහයක් ලෙස මෙම පිරිත් ධර්ම කොට්ඨාසය හඳුන්වා දිය හැක. පිරිත පිළිබඳව අධ්‍යනය කිරීමේ දී පහත කරුණු පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කළ යුතුය. 
1.පිරිත යනු කුමක් ද? 
2.පිරිත යනු කා විසින් කරන ලද දේශනාවක් ද? 
3.කවර හේතුවක් නිමිතිකොටගෙන පිරිත භාවිතා කරන ලද්දේ ද? 
4.කවර දිනයකදී එය ආරම්භ කරන ලද්දේ ද?  
5.එහි ආනිසංස කවරේ ද? 
පිරිත යනු කුමක් ද? 
        බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ත්‍රිපිටක ධර්මය තුල අන්තර්ගත වන ආරක්‍ෂක ධර්ම කොට්ඨාසය ‘පිරිත’ නම් වේ. මෙම පිරිත යන වචනයට අටුවා ධර්ම ග්‍රන්තයන්හිදී මෙසේ අර්ථකථන ලබා දී තිබේ. 
1.මහා තේජවන්තාය සමන්ත තෝ සත්තානං භයං උපද්දවං උපසග්ගං ච තායතී රක්ඛතීති = පරිත්තං
තේජවන්ත බැවින් සත්ත්වයින්හට පැමිණෙන උවදුරු දුරුකරලන බැවින් ‘පරිත්ත’ නම් වේ. 
2.පරිසමන්තතෝ තායති රක්ඛතීති = පරිත්තං 
හාත්පසින් ආරක්‍ෂාව සලසන බැවින් ‘පරිත්ත’ නම් වේ. 
3.අන්තරායං පරිහරන්තං තායතීති = පරිත්තං  
අනතුරු වළක්වාලමින් ආරක්‍ෂාව ලබා දෙන බැවින් ‘පරිත්ත’ නම් වේ. 
4.පරිතෝවා සබ්බූපද්දවතෝ තායතීති = පරිත්තං  
හාත්පසින් සියලුම උපද්‍රවයන්ගෙන් ආරක්‍ෂාව ලබා දෙන බැවින් ‘පරිත්ත’ නම් වේ. 
‘පරි පූර්ව ත්‍රා ධාතුවෙන්’ මෙම වචනය සෑදී ඇත. මෙහිදී පරිත්‍රාණ , පරිත්ත , පිරිත යන පද තුනම මේ සඳහා භාවිතා වේ. පරිත්‍රාණ යනු සංස්කෘත භාෂාවෙන් කරනු ලබන ව්‍යවාහාරය යි. පරිත්ත යනු පාළි භාෂාවෙන් කරනු ලබන ව්‍යවහාරය යි. පිරිත යනු සිංහල භාෂාවෙන් කරනු ලබන ව්‍යවහාරය යි. මේ වචන තුනම එකම අරමුණක් හැඳින්වීම සඳහා භාවිතා කරනු ලැබේ.  
පිරිත කා විසින් කරන ලද දේශනාවක් ද? 
        පිරිත් දේශනාව වනාහි බුද්ධෝත්පාද කාලයෙහි මෙන්ම අබුද්ධෝත්පාද කාලයෙහි දී ද සිදුවී ඇති බව ත්‍රිපිටක ධර්මය තුලින් දැකගත හැක. අබුද්ධෝත්පාද කාලයෙහි දී පිරිත දේශනා කොට ඇති බවට ඇති හොඳම සාධකය වන්නේ සූත්‍ර පිටකයට අයත් ඛුද්දක නිකායේ එන ජාතක පාළියට අයත් (ජාතක කතා පොතෙහි එන )වන ‘පංචගරු ජාතක’ කතාවයි. මෙම ජාතක කතාවට අනුව අමනුෂ්‍ය බියෙන් ආරක්ෂා වීමට පිරිත් ධර්මය භාවිතා කර ඇත. එය කෙටිකොට මෙසේ දැක්විය හැක. 
 බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙණෙකුන් රාජ්‍යය කරන කාලයෙහිදී අප බෝධිසත්ත්වයින් වහන්සේ එම රජතුමන්ගේ බාලම පුතණුවන් විය. එම රජතුමාට කුමාරවරු පන්සියයක් විය. දිනක් එම රජ නිවසට වැඩමකළ පසේ බුදුරජාණන් වහන්සේලාගෙන් අප බෝධිසත්ත්වයින් වහන්සේ තමන්ට මෙම රාජ්‍යයෙහි රජකම කවර දිනකදී ලැබෙන්නේ දැ යි විමසීය. එවිට පසේ බුදුවරුන් විසින් බෝධිසත්ත්වයින් වහන්සේට ජිවතුන් අතර සිටිනා කාලය තුලදී මෙම රාජ්‍යයෙහි රජකම නොලැබෙන බවත් , නමුත් දින සතක් ඇතුලත තක්‍ෂිලා නුවරට යා හැකිනම් එනුවර රජකම ලැබෙන බවත් කීහ. නමුත් එම ගමන අමනුෂ්‍ය ග්‍රහණයෙන් යුතු මහා භයංකර කාන්තාර ප්‍රදේශයක් පසුකර යා යුතු බවත් එහිදී බෝධිසත්ත්වයින් වහන්සේගේ ආරක්ෂාවට පසේ බුදුරජාණන් වහන්සේලා විසින් ජලය, නූල් හා වැලි පිරිත් කොට පිරිත් පැන්, පිරිත් නූල් හා පිරිත් වැලි ලෙස සකස්කොට දුන් බව දේශනා වේ. මෙම පිරිත් පැන්, නූල් හා වැලි වලින් ලද ආරක්ෂාවෙන් බෝධිසත්ත්වයින් වහන්සේ තමන්ගේ ආරක්‍ෂාව තහවුරු කර ගනිමින් දින සතක් ඇතුලත තක්‍ෂිලා නුවරට ගමන්කොට එහි රජකම ලබා ගත්තේය. වැඩි දුර විස්තර සඳහා මෙම ජාතකය අධ්‍යනය කරන්නේ මැනවි. 
        බුද්ධෝත්පාද කාලයන්හිදී බුදුරජාණන් වහන්සේලාම විසින් මෙම පිරිත් ධර්ම කොට්ඨාසය දේශනා කරන්නාහ. මෙම පිරිත වනාහි ශ්‍රාවක භාෂිතයක් හෝ දේව භාෂිතයක් හෝ ඍෂි භාෂිතයක් හෝ නොවන්නේය. පිරිත වනාහි සර්ව සම්පූර්ණයෙන්ම සුපිරිසිඳු මනාව දේශනා කරන ලද බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී මුඛයෙන්ම සිදුකරන ලද බුද්ධ භාෂිතයක්ම වන්නේය. එබැවින් පිරිත වනාහි බුද්ධ භාෂිතයක්ම වන්නේ ය. 
අප බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩවසන කාලයෙහිදීම පිරිත් දේශනාව ආරම්භ විය. ඒ සඳහා පහත දැක්වෙන උදාහරණ ගෙනහැර දැක්වීමට හැක. 
1.දීඝායු කුමාරයා අවරුද්ධක නම් යක්‍ෂයා විසින් මරණයට පත් වන්නට තිබියදී බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුව රහතුන් වහන්සේලා 12 නමක් වැඩමවාගෙන නගර මධ්‍යයේ පිරිත් මණ්ඩපයක් සකස් කරගෙන පුරා සතියක කාල පරාසයක් තිස්සේ පිරිත් ධර්මය සජ්ඣායනා කරන්නට වූහ. අවසාන දිනයෙහි බුදුරජාණන් වහන්සේද එම පිරිත් මණ්ඩපයට වැඩම කොට පිරිත් ධර්මය සජ්ඣායනා කරන්නට වූහ. එම නිසා විවිධ මහේශාක්‍ය දෙවි දේවතාවන්ගේ පැමිණීමත් පිරිත් මණ්ඩපය මැද කුමාරයා තබා ඔහු වටා රහතුන් වහන්සේලා හා බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරමින් පිරිත් ධර්මය දේශනා කළ නිසාත් දීඝායු කුමාරයාට ආරක්‍ෂාව ලැබුණේය. පසුව දින සතකින් මරණයට පත්වන්නට සිටි කුමාරයාට වසර 120 ක් ආයු වින්දනය කිරීමේ හැකියාව ලැබුණේය. 
2.බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩවසන කාලයේදී බුදුරජාණන් වහන්සේගෙන් අර්හත්වය සඳහා කමටහන් ලබාගෙන භාවනා කිරීම සඳහා වනයට ගිය 60 ක් පමණ භික්‍ෂූන් වහන්සේලාට එම වනයෙහි විසූ විවිධ දෙවි දේවතාවුන් වහන්සේලාගෙන් පැමිණි භයානක උපද්‍රවයන්ගෙන් ආරක්ෂාවීම සඳහාත්, භාවනා කටයුතු සඳහා කමටහනක් ලෙසත් කරණීයමෙත්ත සූත්‍රය දේශනා කර ඇත. එයද ආරක්‍ෂක පිරිත් ධර්ම කොට්ඨාසයක් වශයෙනි. 
3.බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩවසන කාලයේදී විශාලා මහ නුවර ඇතිවූ රෝග බිය, අමනුෂ්‍ය බිය හා දුර්භික්‍ෂ බිය යන තුන් බිය දුරුකිරීම සඳහා වජ්ජීන්ගේ ආරාධනයෙන් විශාලා මහා නුවරට වැඩම කොට ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන්ට තුණුරුවන්ගේ අනන්ත ගුණ සඳහන්වන රතන සූත්‍රයඋගන්වා එම තුන් බියෙන් මුදවනු පිණිස ආරක්‍ෂාව සලසනු පිණිස රතන සූත්‍රය දේශනා කරන ලදී. එම සූත්‍ර ධර්මය ඉගෙනගත් ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුවෙහි අඩංගු පිරිත් වතුර විශාලා මහා නුවර පුරාම වැඩම කරමින් නගරය පුරාම නැවතත් එම පිරිත් සූත්‍රයම සජ්ඣායනා කරමින් පිරිත් පැන් ඉසිමින් වැඩම කළහ. ඊට පසුව එතෙක් පැවති තුන් බිය පහවී සියලු දුක් නිමවී සෞභාග්‍ය උදා විය.  
4.බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කාලයෙහිදී එක්තරා භික්ෂූන් වහන්සේ කෙනෙකුන් සර්පයෙකුගේ දෂ්ඨනයට ලක්ව මරණයට පත් විය. මේ බව බුදුරජාණන් වහන්සේ දැනගත් විට සියලුම භික්ෂූන් වහන්සේලාගේ ආරක්‍ෂාව පිණිස සියලු සතුන්ගෙන් සිදුවන උපද්‍රවයන්ගෙන් මිදෙනු පිණිස ඛන්ධ පිරිත දේශනා කරන ලදී. 
5.ජාතක කතා පොතේ එන ස්වර්ණමයුර ජාතකයෙහි සඳහන්වන ආකාරයට අප බෝධිසත්ත්වයන් වහන්සේ මයුර / මොණර උපතක උත්පත්තිය ලබා සියලු සත්ත්වයන්ගෙන් වන උපද්‍රවයන් දුරුකර ගැනීම පිණිස භාවිතා කළ පිරිත් සූත්‍ර ධර්මය මොර පිරිත නම් වේ. සියලුම උපද්‍රවයන්ගෙන් වැළකීම පිණිස මෙම සූත්‍ර දේශනාව භාවිතා කරනු ලැබේ. 
6.රාහු අසුරයාගෙන් තමන්ට විපත් පැමිණි අවස්ථාවන්හිදී හිරු හා සඳ මණ්ඩලයන්ට අධිපති එහි වාසය කරන සියලු දෙවි දේවතාවුන් බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේව සිහිපත් කරන්නට වූහ. එවිට ඔවුනට හා ලෝක සත්ත්වයාට මහත් අනුකම්පාවෙන් එම සුර්ය මණ්ඩලය හා සඳ මණ්ඩලය මුදන ලෙස රාහු අසුරයාට බුදුරජාණන් වහන්සේ විසින් කියන ලද ගාථාවන් අඩංගු ධර්ම කොට්ඨාසය සුරිය පිරිතෙහි හා චන්ද පිරිතෙහි අඩංගු වේ. මෙය විශේෂයෙන් දෙවිවරුන්ට භයක් තැතිගැනීමක් ඇතිවුණු විටදී භාවිතා කරනු ලැබේ. 
7.ධජග්ග පිරිත වනාහි දෙවි දේවතාවුන්ගේ ආකර්ෂණය මහත් ලෙස ලබාගැනීමට හේතුවන සූත්‍ර දේශනාවකි. අසුර නිකායික දෙවියන් සමග සුර නිකායික දෙවියන් යුද්ධ කිරීමට සුදානම් වන ආකාරයත් එහිදී යුද්ධයට යන යම් දෙවියකුට බියක් තැතිගැනීමක් ඇති වුවහොත් දිව්‍ය ලෝකයට අධිපතීත්වයන් දරන ශක්‍ර, ඊසාන, වරුණ, ප්‍රජාපතී යන දෙවියන්ගේ ධජයන් දෙස බලන ලෙසත් එවිට එසේ ඇති වූ බිය තැතිගැනීම දුරුවන බවත්, ශක්‍ර දෙවියන් සියලු දෙවියන්ට පැවසූහ. මෙය නිමිතිකරගෙන බුදුරජාණන් වහන්සේ විසින් එය එසේ නොවන බවත් එයට හේතුව ඒ දෙවිවරුන් රාග, ද්වේශ, මෝහයන්ගෙන් යුක්තවන නිසා බවත්, නමුත් යමෙක් රාග, ද්වේශ, මෝහ නැසූ බුදුරජාණන් වහන්සේ ද ස්වාක්ඛාත වූ ධර්ම රත්නය ද සුපටිපන්න වූ රහතුන් වහන්සේලාද සිහිපත් කරයි නම් එවිට පමණක් යමෙකුට ඇති වූ භය තැතිගැනීම නියම වශයෙන්ම දුරුවන බවත් දේශනා කළ සේක. එබැවින් මෙම ධජග්ග පිරිතද අන්තරායකර තත්වයකදී පරිහරණය කිරීම පිණිස ආරක්‍ෂක පිරිත් සුත්‍රයක් ලෙස දේශනා කරන ලදී. 
8.ඇතැම් අවස්ථා වලදී මහරහතුන් වහන්සේලාද තවත් අවස්ථාවන්හිදී බුදුරජාණන් වහන්සේ ද කායික ගිලන් බවට පත් වූ අවස්ථාවන්හිදී ශාන්තිකර සුවය ලබාදීමට සමත්වන්නා වූ පිරිත් ධර්මයන් දේශනා කර ගත්හ. මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ ගිලන්ව වැඩසිටිනා අවස්ථාවකදී මහා මොග්ගල්ලානත්ථේර බොජ්ඣංග සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දාහ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගිලන්ව වැඩවසන අවස්ථාවක මහා කස්සපත්ථේර බොජ්ඣංග සූත්‍ර දේශනාවද බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දාහ. ගිරිමානන්ද තෙරුන් වහන්සේ ගිලන්ව වැඩවසන අවස්තාවකදී බුදුරජාණන් වහන්සේ විසින් ආනන්ද මහා තෙරුන් වහන්සේට දේශනා කරන ලදුව පසුව ආනන්ද මහතෙරුන් වහන්සේ විසින් එම ගිරිමානන්ද සූත්‍රය ඉගෙනගෙන ගිරිමානන්ද තෙරුන් සමීපයෙහි සිට දේශනා කළ විට එය ශ්‍රවණය කළ උන්වහන්සේ සුවපත් විය. එසේම අප බුදුපියාණන් වහන්සේ ගිලන්ව වැඩවසන අවස්ථාවක චුන්ද මහරහතන් වහන්සේ ලවාචුන්දත්ථේර බොජ්ඣංග සූත්‍රය සජ්ඣායනා කරවාගත් බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇත. මෙවැනි පිරිත් සූත්‍ර දේශනාවන් රෝගයන්ගෙන් ඇතිවන උවදුරු දුරුකර ගැනීම පිණිස භාවිතා කිරීමට අනුදැන වදාළහ. 
9.ධර්මයට කැමති උසස් අමනුෂ්‍යයන් මෙන්ම ධර්මයට අකමැති උසස් අමනුෂ්‍යයන් ද සිටිති. ධර්මයට අකමැති අමනුෂ්‍යයන් විසින් විවිධ අවස්ථාවන්හිදී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන සිවුවනක් පිරිසට විවිධාකාරයෙන් කරදර දුක් විපත් ඇතිකිරීමට උත්සාහවත් වෙති. මේ පිළිබඳව දැනසිටි චාතුම්මහාරාජිකයට අධිගෘහිත සතරවරම් දෙවියන් විසින් කරන ලද ආරාධනයෙන් හා දැනුවත් කිරීමෙන් පසුව බුදුරජාණන් වහන්සේ විසින් මෙම ආටානාටිය සූත්‍ර දේශනාව සිදුකරන ලදී. මෙම සූත්‍ර දේශනාවෙන් වෙස්සවණ මහා දෙවු රජ විසින් එවැනි කරදරකාරී අවස්ථාවක දී කටයුතු කළ යුතු ආකාරය, එවැනි යකුන්ට යක්‍ෂ සමාගමෙන් දෙනු ලබන දඬුවම්, එවැනි වැරදි ඉදිරිපත්කරන ආකාරය පිළිබඳව දේශනා කර ඇත. එසේම  මෙම සූත්‍රය විශේෂයෙන් බුද්ධ ශ්‍රාවකයන්ගේ ආරක්‍ෂාව පිණිසම කරන ලද විශේෂ ආරක්‍ෂක පිරිත් දේශනාවකි. 
මීට අමතරව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද විවිධ සූත්‍ර දේශනාවන්ද මෙම පිරිත් පොතට අඩංගුව ඇත. විශේෂයෙන් සතර බණවර ලෙස ගත්විට පිරිත් පොතට අඩංගුවන පිරිත් සූත්‍රයන්ට අමතරව අතිරේක බණවරක් ද මෙහි අඩංගුව ඇත.  
සතර බණවරට අයත් පිරිත් සූත්‍ර :- 
1.පළමු බණවරට අයත් සූත්‍ර  
  • Ø සරණාගමනය  
  • Ø දස සික්ඛාපද 
  • Ø සාමණේර පඤ්හ  
  • Ø ද්වත්තිංසාකාරය  
  • Ø පච්චවෙක්ඛනා  
  • Ø දස ධම්ම සූත්‍රය  
  • Ø මහා මංගල සූත්‍රය 
  • Ø රතන සූත්‍රය  
  • Ø කරණීය මෙත්ත සූත්‍රය  
  • Ø ඛන්ධ පිරිත  
  • Ø මෙත්තානිසංස සූත්‍රය  
  • Ø මිත්තානිසංස සූත්‍රය  
  • Ø මෝර පිරිත  
  • Ø චන්ද පිරිත  
  • Ø සුරිය / සූරිය පිරිත  
  • Ø ධජග්ග පිරිත  
2.දෙවන බණවරට අයත් සූත්‍ර  
  • Ø මහා කස්සපත්ථේර බොජ්ඣංග සූත්‍රය  
  • Ø මහා මොග්ගල්ලානත්ථේර බොජ්ඣංග සූත්‍රය  
  • Ø මහා චුන්දත්ථේර බොජ්ඣංග සූත්‍රය  
  • Ø ගිරිමානන්ද සූත්‍රය 
  • Ø ඉසිගිලි සූත්‍රය  
3.තුන්වන බණවරට අයත් සූත්‍ර  
  • Ø ආටානාටිය සූත්‍රය පළමු කොටස  
  1. 4.සතරවන බණවරට අයත් සුත්‍ර  
  • Ø ආටානාටිය සූත්‍රය දෙවන කොටස  
අතිරේක බණවරට අයත් පිරිත් සූත්‍ර :- 
  • Ø ධම්මචක්කප්පවත්තන සූත්‍රය  
  • Ø මහාසමය සූත්‍රය  
  • Ø ආලවක සූත්‍රය  
  • Ø කසීභාරද්වාජ සූත්‍රය  
  • Ø පරාභව සූත්‍රය  
  • Ø වසල සූත්‍රය  
  • Ø සච්ච විභංග සූත්‍රය  
මෙම අතිරේක බණවරට අඩංගු සූත්‍ර දේශනා මගින් ආරක්‍ෂක කෘත්‍යක් ඉටු කිරීමක් විශේෂයෙන් දක්නට නොමැත. ආරක්‍ෂක පිරිත් වශයෙන් භාවිතා නොකරන ඉතිරි පිරිත් සූත්‍රයන්ගෙන් බලාපොරොත්තු වන්නේ ජිවිතයට වැදගත් කරුණු ගෙනහැර දැක්වීම හා චතුරාර්ය සත්‍යය පිළිබඳව විස්තර කිරීමයි. 
බණවරක් යනු :- 
අකුරු අටක් එක පදයකි. පද සතරක් ගාථාවකි / ග්‍රන්ථයකි. එවිට ගාථාවකට අකුරු තිස් දෙකකි. අකුරු තිස් දෙකකින් යුතු ග්‍රන්ථ දෙසියපනහක් බණවර එකකි. බණවරකට අකුරු අටදහසකි. සතර බණවරට අකුරු තිස් දෙදහසකි. 
කවර හේතුවක් නිමිති කොටගෙන පිරිත භාවිතා කරන ලද්දේ ද? 
පිරිතට ආරාධනා කිරීමේදී, 
‘විපත්ති පටිබාහාය සබ්බ සම්පත්ති සිද්ධියා
සබ්බ දුක්ඛ විනාසය පරිත්තං බ්‍රෑත මංගලං,
විපත්ති පටිබාහාය සබ්බ සම්පත්ති සිද්ධියා
සබ්බ භය විනාසය පරිත්තං බ්‍රෑත මංගලං,  
විපත්ති පටිබාහාය සබ්බ සම්පත්ති සිද්ධියා
සබ්බ රෝග විනාසය පරිත්තං බ්‍රෑත මංගලං’
        යනුවෙන් ගාථා ධර්මයන් තුනක් සජ්ඣායනා කරමින් පිරිත් සූත්‍ර දේශනාවන් ආරම්භ කරන ලෙස මහා සංඝයාට ආරාධනා කරයි. මෙම ගාථා තුනෙන් මංගල සම්මත පිරිත දේශනා කරන මෙන් ඉල්ලා සිටින අතරම එයට හේතු පාදකවන අරමුණු/හේතු කිහිපයක් විස්තර කරයි. 
1.විපත්ති පටිබාහාය - විපත් දුරුකර ගැනීමට  
2.සබ්බ සම්පත්ති සිද්ධියා - සියලු සම්පත් / යහපත සිදුකර ගැනීමට  
3.සබ්බ දුක්ඛ විනාසය - සියලු දුක් නැතිකර ගැනීමට 
4.සබ්බ භය විනාසය - සියලු භය නැතිකර ගැනීමට  
5.සබ්බ රෝග විනාසය - සියලු රෝග නැතිකර ගැනීමට  
මංගල සම්මත වූ පිරිත් ධර්මය දේශනා කරන ලෙස ඉල්ලීම සිදු කරයි ( පරිත්තං බ්‍රෑත මංගලං). දුර්භික්‍ෂ, රෝග, අමනුෂ්‍ය ආදී විවිධ කරුණු වලින් පැමිණෙන්නා වූ විවිධ දුක් ගැහැට නිසා ඇතිවන සියලුම ආකාරයේ කරදර වලින් වැළකීම පිණිස මම ආරක්‍ෂක පිරිත් ධර්මයන් දේශනා කිරීම්, සජ්ඣායනා කිරීම් සිදු කරනු ලැබේ. 
කවර දිනයකදී එය ආරම්භකරන ලද්දේ ද? 
        ඉහත දක්වන ලද ආරක්ෂාකාරී පිරිත් දේශනාවන් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩවාසය කරන කාලයෙහිදීම විවිධ අවස්ථාවන්ට උචිත ලෙස පරිහරණය කරන ලදී. මෙසේ සලකා බලන කළ පිරිත් ධර්මයන් ආරම්භ වී දැනට වසර දෙදහස් පන්සීය පනහකටත් ( 2550 ) වැඩි කාල පරාසයක් ගත වී ඇත. 
එහි ආනිසංස කවරේ ද?   
        පිරිත් දේශනාවෙහි අඩංගු වන්නේ බුද්ධ, ධම්ම, සංඝ යන තුණුරුවන්ගේ අනන්ත ගුණයන්ය. එම ත්‍රිවිධ රත්නයෙහි ගුණයන් වනාහි පරම සත්‍යය ධර්මතාවයක් වන්නේය. එය ලෝකයේ කිසිවෙකුටත් කිසිම අවස්ථාවක අසත්‍යයි කියා ප්‍රකාශ කළ නොහැක. බුදුරජාණන් වහන්සේ කෙරෙහි දක්නට ලැබෙන අනන්ත වූ නව අරහාදී බුදු ගුණයන්ද ධර්ම රත්නයෙහි දක්නට ලැබෙන ස්වාක්ඛාතාදී දහම් ගුණයන්ද මහ රහතුන් වහන්සේලා තුල දක්නට ලැබෙන සුපටිපන්නතාදී අනන්ත ගුණයන්ද එක් කොට මෙම පිරිත් ධර්මය දේශනා කර ඇත. එහි ආනිසංස ලෙස, 
1.රෝග බිය දුරු කිරීමට හේතුවන බව  
2.දුර්භික්‍ෂ බිය දුරු කිරීමට හේතුවන බව  
3.අමනුෂ්‍ය බිය දුරුකිරීමට හේතුවන බව 
4.සිතෙහි ඇතිවන බිය තැතිගැනීම දුරුකිරීමට හේතුවන බව  
5.තුණුරුවන්ගේ ආරක්‍ෂාව, ආශිර්වාදය ලබා ගත හැකි බව 
6.පිරිත් ධර්මය ශ්‍රවණය කිරීමට පැමිණෙන දෙවියන්ගේ ආශිර්වාදය, ප්‍රිය බව ලැබීමට හේතුවක් වන බව  
7.සිතෙහි නිරාමිස සැනසීම, සතුට ඇතිකිරීමට හේතුවන  බව  
8.සත්ත්වයින්හට ප්‍රිය වන බව  
9.ආයු වර්ධනයට හේතු වන බව  
ආදිය දැක්විය හැක.  
මීට අමතරව ‘මිලින්ද ප්‍රශ්නය නම් ධර්ම ග්‍රන්ථයෙහි එන පිරිත් ප්‍රශ්නයෙහි දී’ පිරිතෙහි ආනිසංස පිළිබඳව මෙසේ සඳහන් කර ඇත. 
නැවත මිලින්ද මහා රජුන් විසින් මෙසේත් අසන ලදී. නාගසේනයන් වහන්ස, බුදුරජාණන් වහන්සේ විසින් මෙසේත් වදාරණ ලදී. 
‘න අන්තලික්ඛේ න සමුද්දමජ්ඣේ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජති සෝ ජගතිප්පදේසෝ
යත්ථට්ඨිතෝ නප්පසහේථ  මච්චු’
යම් තැනක සිටි සත්ත්වයා මරණ තෙමේ අභිභවනය නොකෙරේද, (හෙවත් මැඩගෙන නොසිටීද), (කෙසගක් පමණ වූ ද) එසේ වූ භූමි ප්‍රදේශයක් නැත. ආකාශයෙහි ද මරණින් මිදෙන්නට හැකි ප්‍රදේශයක් නැත. සමුද්‍රමධ්‍යයෙහි ද මරණින් මිදෙන්නට හැකි ප්‍රදේශයක් නැත. පර්වත විවරයකට ප්‍රවිෂ්ඨ වුවද මරණින් මිදෙන්නට හැකි ප්‍රදේශයක් නැත. 
(සූත්‍ර පිටකය. ඛුද්දක නිකාය. ඛුද්දක පාඨ. ධම්මපද පාළිය. 09 වන පාප වර්ගය. 13 වන ගාථාව. බු:ජ:ත්‍රි:පිටුව - 123/124)  
මෙසේ දේශනා කළ බුදුරජාණන් වහන්සේ විසින් නැවතත් රතන සූත්‍රය, ඛන්ධ පිරිත, මෝර පිරිත, ධජග්ග පිරිත, ආටානාටිය පිරිත, අංගුලිමාල පිරිත .... ආදී පිරිත් දේශනාවන් දේශනා කළ සේක. ඉදින් පිරිත් සූත්‍ර දේශනාවන්ගෙන් මරණයෙන් මිදීමක්, ආයු වර්ධනය කිරීමක් සිදු කරන්නේ නම් ‘න අන්තලික්ඛෙ න සමුද්ධමජ්ඣේ ...’යන ගාථාව වැරදි විය යුතුය. එම ගාථාව නිවැරදි නම් පිරිතෙන් ලද හැකි ආනිසංස වැරදි විය යුතුය. මෙම කරුණු දෙක කෙසේ ගැලපෙන්නේ දැ යි මිලින්ද රජු විසින් නාගසේන මහරහතන් වහන්සේගෙන් විමසීය. එවිට නාගසේන මහරහතන් වහන්සේ මෙසේ දේශනා කළ සේක. 
        ‘මහරජ, අප බුදුරජාණන් වහන්සේ විසින් ධම්මපදයේ එන ඉහත ගාථාවද එසේම පිරිත් දේශනාවන්ද දේශනා කළ වදාළ සේක. ඒ වදාළ පිරිත වනාහි සාවශේෂ ආයු ඇත්තා වූ වයස් සම්පන්න වූ පහ වූ අකුසල කර්මාවරණ ඇත්තාහු හටය. මහරජ, ක්‍ෂය වූ ආයු ඇත්තා හට මරණයට පත් නොවීම පිණිස ක්‍රියාවක් හෝ උපක්‍රමයක් හෝ නැත්තේය. මහරජාණෙනි, යම්සේ වියලී ගියා වූ දිරා ගියා වූ තෙත් ස්වභාවය පහව/ඉවත්ව ගියා වූ ජිවිතෙන්ද්‍රිය වැලකුනා වූ ගසකට නියමිත ආයුෂ ගෙවිගියා වූ මරණයට පත් වූ ගසකට පැන් කළ සිය දහස් ගණනක් වත් කලද එහි තෙත් බවක් හෝ පත්‍ර වර්ධනය වන බවක් හෝ නොවන්නේය.  මහරජ, එපරිද්දෙන්ම පිරිත් කරණයෙන් ආයුෂ ක්ෂීණ බවට පත් වූවහු ගේ ජීවිතය රදා පැවැත්ම පිණිස කළ හැකි ක්‍රියාවක් හෝ උපක්‍රමයක් නැත.  මහරජ, සකල පෘථිවියෙහිම යම් බෙහෙතක් ඇත්ද, ඒ සියලු බෙහෙත් ක්ෂීණ ආයු ඇත්තා හට ආයුෂ වර්ධනයට හේතුකාරකයක් නොවන්නේය.  
මහරජ, වයස් සම්පූර්ණ වූ පහ වූ අකුසල කර්මාවරණ ඇත්තා වූ සාවශේෂ ආයුෂ ඇත්තා වූ පුරුෂයා පිරිත විසින් ආරක්ෂා කරන්නේය. රකින්නේය. ඒ ආයු ඇත්තා උදෙසාම බුදුරජාණන් වහන්සේ විසින් පිරිත අනුදැන වදාළ සේක. මහරජ, යම්සේ ගොවිතැන් කරන්නා වූ ගොවියෙකු ධාන්‍ය පැසුණු කල්හි කරලින් යුක්ත කුඹුරට ජලය යෙදීම වළක්වන්නේය. වැස්සෙන් උපකාර ලබා ඒ තරුණ ගොයම වැඩෙන්නේය. මහරජ, එපරිද්දෙන්ම ක්‍ෂය වූ ආයුෂ ඇත්තා හට පිරිත් ක්‍රියාවෝ නොකොට තබන ලද්දාහ. වළක්වන ලද්දාහ. වයස් ඇත්තා වූ යම් මනුෂ්‍යයෙක් වේ ද, ඔහු හට පිරිත දේශනා කරන ලදී. මේ නිසා පිරිත් දේශනාවෙන් සත්ත්වයෝ මරණයට පත් නොවී ආරක්ෂා වේ යැ යි කියන ලදී. 
මහරජ, පිරිත් දේශනා කරන කල්හිදී මෛත්‍රී පූර්වාංගමව  පවත්වන්නා වූවන්ගේ ශබ්දය පැතිරෙන්නේය. දිව වියලෙන්නේය. චිත්තය පෙරළෙන්නේය.නෙළුම් කකුලක් වැනි හදවත පෙළෙන්නේය. උගුර ගොරෝසු ස්වභාවයක් ගන්නේය. ඒ පිරිත් කියන්නවුන්ගේ පවත්වන ඒ උපක්‍රමයන් නිසා රෝගීන්ගේ සියලු ව්‍යාධි දුරුවන්නේය. කරන ලද පිරිත් ධර්මයෙන් යුතු ආරක්‍ෂාව ඇති පුරුෂයා හට නාගයින් දෂ්ඨ නොකරන්නේය. දෂ්ඨ කිරීම සඳහා විවර කළ මුඛය පියා ගන්නේය. සොරුන් විසින් තලන්නට ගත් මුගුර පවා නොපැමිණෙන්නේය. ඒ සොරුන් මුගුරු දමා අවුත් මිතුරු වෙති. කුපිත වූ නාග හස්තීන් තමන් ලඟට පැමිණියත් හානි නොකරන්නේය. දිලිසෙන මහා ගිනි ජාලාවක් වුවත් ලගට පැමිණියද නිවී යන්නේය. නොදැන නමුත් අනුභව කරන ලද විෂ වුවද අමෘතය හා සමාන වන්නේය. ආහාරයක් බවට හෝ පත් වන්නේය. නසනු කැමැත්තා වූ වරදකරුවෝ ලඟට පැමිණ දාසයන් මෙන් වන්නේය. පයට පෑගුණු මළ පුඩුව පවා ක්‍රියාත්මක නොවන්නේය.  
මහරජ, මයුර ජාතකයෙහි කරන ලද පිරිත් ඇති මයුරයාගේ/මොණරාගේ පයට අවුරුදු හත්සියයක් මුළුල්ලේ උගුල් ඇටවුවද අල්ලා ගන්නට නොහැකි විය. පිරිත් නොකරන ලද දිනයේදී පමණක් වැද්දාට හසු විය.  
මෙසේ නාගසේන මහරහතන් වහන්සේ විසින් දේශනා කළ කල්හිදී මිලින්ද රජු විසින් මෙසේ නැවතත් අසන ලදී. ‘කිමෙක්ද නාගසේනයන් වහන්ස, සියලු දෙනාවම පිරිත විසින් ආරක්ෂා කරයිද?’ එවිට මහරහතන් වහන්සේ විසින් ‘මහරජ, පිරිත විසින් ඇතැම් අයෙකුන් ආරක්ෂා කරයි, ඇතැම් අයෙකුන් ආරක්ෂා නොකරයි යනුවෙන් දේශනා කළහ. තවද මහරජ අකුසල කර්මාවරණයෙන් ද රාගාදී වූ ක්ලේශාවරනයෙන් ද   නොඇදහීමෙන්ද යන කරුණු තුන ඇත්තා හට පිරිත් ආරක්ෂාවක් නොවන්නේ ය. මහරජ, සකල සත්ත්වයින්ම නොහැර ආරක්ෂා කරන්නා වූ පිරිත තමා විසින්ම කරගත් දෙයින් ආරක්‍ෂාව දුරුකරන්නේය’.  
 පිරිතෙහි හා ධර්ම දේශනාවක ඇති වෙනස :- 
        පිරිත් දේශනාවක සම්පූර්ණයෙන්ම පාහේ අඩංගු වන්නේ පිරිසිඳු බුද්ධ වචනයයි. පිරිත් දේශනාවක කිසිම හේතුවක් නිසාවත් පිරිත සජ්ඣායනා කරනු ලබන භික්‍ෂූන් වහන්සේලාගේ අර්ථ දැක්වීම් අඩංගු නොවේ. නමුත් ධර්ම දේශනාවකදී යම් කිසි සූත්‍ර කොට්ඨාසයක් මාතෘකා වශයෙන් තබාගෙන ත්‍රිපිටක බුද්ධ වචනය හා අටුවා ආදී ධර්ම ග්‍රන්ථ ද ගුරු තනතුරෙහි තබාගෙන ධර්ම දේශනාව සිදු කරනු ලබන යම් භික්ෂුවක් වේ ද ඔහුගේ ද අත්දැකීම් ද ඒ හා මුසු කරමින් එම සූත්‍ර ධර්මය විස්තර කර ධර්මය දේශනා කරනු ලැබේ. එහිදී බහුල ලෙස තමන් විසින් එකතුකරගත් ධර්ම දැනුමද උපයෝගී කරගනිමින් තමන්ගේ වචනයෙන් ධර්මය දේශනා කරනු ලැබේ. නමුත් පිරිත් දේශනාවකදී දේශකයාණන් වහන්සේලාගේ වචනයක් ලෙස භාවිතා වන්නේ ‘ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං’... මෙම සත්‍යය වචනයෙන් ඔබට යහපතක්ම වේවා ! යන ප්‍රකාශය පමණි.එමනිසා පිරිත් දේශනාවකට කිසිම අවස්ථාවකදී දේශකයාණන්ගේ වචනයක් අඩංගු නොවේ. එබැවින් පිරිත යනු සුපිරිසිඳු බුද්ධ වචනයම වේ. 
සතර බණවරෙහි ඇති වැදගත්කම:- 
        ජාතක කතා පොත, ධම්මපදය මෙන්ම සාමාන්‍ය ජනතාව අතර වඩාත් ජනප්‍රිය මෙන්ම නිතර නිතර පරිහරණය කරනු ලබන ධර්ම ග්‍රන්ථයකි ‘පිරිත් පොත’. මේ නිසාම මෙම පිරිත් පොතට ‘පිරිත් පොත් වහන්සේ’ යන ගෞරව නාමයද ලැබී ඇත. බෞද්ධයන් අතර විශේෂයෙන් ශ්‍රද්ධාව ජනනය කිරීමට විශේෂයෙන් සමත් වූ ධර්ම ග්‍රන්ථයක් ලෙස ද පිරුවානා පොත් වහන්සේ හැඳින්විය හැක. මේ නිසාම ගිහි, පැවිදි සියලු දෙනාම මෙම පිරිත් ධර්මය කටපාඩමින් ආරක්ෂා කරන්නට වූහ. විශේෂයෙන් මෙම ශාසනයෙහි පැවිද්ද බලාපොරොත්තුවන සියලු දෙනාම විසින් මෙම පිරිත් පොත පැවිද්දට පෙර කටපාඩම් / වනපොත් කලයුතුම අංගයක් ලෙස ශාසනික රීතියක් අද වන තුරුත් පවතී. එසේම ගිහි පින්වතුන් ද තම තමන්ට පහසු වේලාවක් දිනපතා යොදාගනිමින් දිනකට එක් වරක්වත් නිවසේ සියලු දෙනාම එකට එක් වී අවම තරමින් තුන් සූත්‍රය හෝ කරණිය මෙත්ත සූත්‍රයවත් කියන්නට පුරුදුවී සිටියහ. එය දිනපතා අංගයක් ලෙස භාවිතා වන්නට විය. මේ නිසාම පිරිත් සූත්‍ර දේශනාවන් සමගම බැදී ගිය වතාවත්ද විශේෂයෙන් බිහිවන්නට විය. එසේම අතීත රජ සමයෙහි පටන් පිරිත් පොත හා සමගම පරිහරණය සඳහා සතර බණවර අටුවාවක්ද සතර බණවර සන්නයක්ද බිහි වූහ. දඹදෙණිය යුගයෙහිදී දෙවන පැරකුම්බා රජුගේ රාජ්‍ය කාලයෙහිදී අනෝමදස්සී මහා තෙරුන් වහන්සේගේ ආරාධනයෙන් ආනන්ද වනරතන මහතෙරුන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් විසින් සතර බණවර අටුවාවද, කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ රාජ්‍ය කාලයෙහිදී අසරණ සරණ සරණංකර සංඝරාජයාණන් වහන්සේ විසින් සතර බණවර සන්නයද ලියූ බව ශාසන ඉතිහාසයෙහි එන ප්‍රකට කරුණකි.  
පිරිතෙහි ඇති ආනුභාවය :-  
        ඒ ඒ පිරිත් සූත්‍ර දේශනාවන්ට ආවේනික ආනුභාව ශක්තියක් විශේෂයෙන් දක්නට ඇත. පිරිත් දේශනාවෙහි ඒකාන්ත වශයෙන්ම විශේෂිත ආනුභාව ශක්තියක් ඇත. එහි පවත්නා ශබ්ද තරංග ඇතිකිරීමේ විශේෂිත භාවයත්, දේශකයාගේ චිත්තය හා කයත් වචනයත් හසුරුවන ආකාරයත්, ශ්‍රාවකයාගේ චිත්ත ප්‍රසාදය හා ශ්‍රද්ධාවත්, තුණුරුවන්ගේ සත්‍යය බලයත් නිසා පිරිත් සූත්‍ර දේශනාවක ඇති ආනුභාවය තවත් වැඩි වේ.  
        බුදුරජාණන් වහන්සේ විසින් තමන් වහන්සේ විසින් අවබෝධ කරගත් චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා කර වදාළ ප්‍රථම අවස්ථාවේ දී දස දහසක් සක්වල මහත් ලෙස කම්පනයට පත්විය. එයට හේතුව එම සූත්‍ර දේශනාවේ ආනුභාවය සක්වල දස දහසකට බල පවත්නා බවයි. එසේම විශේෂයෙන්‘රතන සූත්‍රය, චන්ද පිරිත, ධජග්ග පිරිත, මෝර පිරිත, ආටානාටිය පිරිත’ යන සූත්‍ර ධර්මයන් පහ වනාහිකෝටි  ලක්ෂයක් සක්වලට ආනුභාවය පතුරුවාලන බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇත. මෙම පිරිත් සූත්‍රයන්ගෙන් මෙන්ම සෙසු සූත්‍ර ධර්මයන්ගෙන්ද කරනු ලබන පිරිතෙන් නිරන්තරයෙන්ම ආරක්‍ෂාව ලබා ගත හැකි බව ප්‍රකට ප්‍රත්‍යක්‍ෂ කරුණකි.  
        පිරිත් ධර්මයෙන් නියමිත ආනුභාවය මෙන්ම ආරක්‍ෂාව ලබා ගැනීමට දේශකයන් වහන්සේ මෙන්ම ශ්‍රාවකයාට ද ඒ පිළිබඳව අවබෝධයක් අනිවාර්යෙන්ම තිබිය යුතුමය. එසේම පිරිත් ධර්මය ශ්‍රවණය කිරීමට ප්‍රථමයෙන් ඒ සියලු දෙනාටම තම තමන් විසින් කළ යුතු වූ විශේෂ කටයුතු ඇත. විශේෂයෙන් මෙම වත් පිළිවෙත් සර්වරාත්‍රික පිරිත් දේශනාවන්හිදී විශේෂයෙන් දැකිය හැක. 
පිරිත් දේශකයන් හා ශ්‍රාවකයන් කටයුතු කළ යුතු ආකාරය:- 
        පිරිත් දේශනා කරනු ලබන භික්‍ෂූන් වහන්සේලා විසින් එම පිරිත ශ්‍රවණය කිරීමට පැමිණෙන සියලුම දෙනාට තමන්ගේ මෛත්‍රී සිත පැතිරවිය යුතුය. එය උපමා කර ඇත්තේ විශාලා මහනුවර තුන්බිය ඇතිවූ අවස්ථාවේ දී ආනන්ද මහතෙරුන් වහන්සේ අතිශය කරුණාවෙන් යුක්තව රතන සූත්‍රය දේශනා කළ සේ භික්‍ෂූන් වහන්සේලා විසින් ද මෙම පිරිත් ධර්මය ශ්‍රවණය කිරීමට පැමිණෙන දිව්‍ය මනුෂ්‍යාදී සියලුම සත්ත්වයන්ට කායික මානසික සුවපත් භාවයත් ලෞකික ලෝකෝත්තර සැපතත් සැලසේවා යන මෛත්‍රී සිතින් යුක්තව පිරිත් ධර්මය දේශනා කළ යුතු බවයි. ‘සබ්බේපි මේ බුද්ධ ගුණේ ආවජ්ජිත්වා වේසාලියා තීසුපාකාරන්තේසු තියාම රත්තිං පරිත්තං කරොන්තෝ ආයස්මා ආනන්ද ථේරෝ විය කාරුඤ්ඤ චිත්තං උපට්ඨපෙත්වා’(සියලු බුදුගුණයන් සිහිපත් කරමින් විශාලා මහනුවර දී තුන් යම් රාත්‍රිය මුළුල්ලේම ආයුෂ්මත් ආනන්ද මහතෙරුන් වහන්සේ විසින් මහත් වූ කරුණාබර සිතින් යුක්තව පිරිත් ධර්මය දේශනා කලාක් සේ...) පිරිත් දේශනා කරන භික්ෂුව කටයුතු කළ යුතුය යනුවෙන් ධර්මයෙහි එය දේශනා කර ඇත. 
 එසේම උපසම්පදා භික්‍ෂූන් වහන්සේලා පිරිත් දේශනා කිරීමට වැඩම කරන්නේ නම් උන්වහන්සේලා ආපත්ති දේශනාවන් සිදුකරගෙන පිරිසිඳු භාවයට පැමිණ පිරිත් දේශනා කිරීම පිණිස වැඩම කළ යුතු අතර, සාමණේර භික්‍ෂූන් වහන්සේලා ද තම තමන්ගේ සීලය පිරිසිඳු කරගෙන පිරිත් දේශනාවට වැඩම කළ යුතුය. එවිට එය පිරිත් දේශනාවෙහි ආනිසංස පක්‍ෂය තවත් වර්ධනය කිරීම පිණිස හේතු කාරණාවක් වේ. එසේම පිරිත් ධර්මය ශ්‍රවණය කරනු ලබන ශ්‍රාවක පිරිස ද තම තමන්ට අදාළ යම් සීලයක් වෙත් ද එම සීලය අලුත් කරගෙන සිල්සපන්ව සිටීමෙන් පිරිතෙන් තමන්ට ලද හැකි ආනිසංස වර්ධනය වේ. පිරිත් අසනු ලබන අය ද තමන්ට මෙන්ම මෙම පිරිත් දේශනාවෙන් සකල ලෝක සත්ත්වයාටම යහපතක්ම සැලසේවා යන මෛත්‍රී පූර්වාංගම සිතින් යුක්තව මෛත්‍රී වඩා නම් තවදුරටත් පිරිතෙන් ලද හැකි ආනිසංසය වර්ධනය වීමට එය හේතුවක් වේ. පිරිත් ධර්මයෙහි අන්තර්ගත වන්නේ අනන්ත බුදුගුණ, දම් ගුණ හා සඟ ගුණයි. පිරිත දේශනා කරනු ලබන දේශකයාණන් වහන්සේලා විසින් පිරිත් දේශනාවන් සිදුකරනු ලබන අතරතුර දී තම තමන්ට හැකි පරිද්දෙන් එම පිරිත් දේශනාවන්හි අර්ථය සිහිපත් කළ යුතුය. වඩා දක්ෂ නම් වචනයෙන් වචනය හෝ අර්ථ මෙනෙහි කිරීම/පදගතාර්ථ වශයෙන් හෝ සමස්ත ගාථාවේ අර්ථය හෝ සිහිපත් කළ යුතුය. එසේම ශ්‍රාවකයා ද තම තමන්ට හැකි තමන් දන්නා ආකාරයෙන් ඒ ඒ පිරිත් සූත්‍රයන්ගේ අර්ථය මෙනෙහි කිරීමෙන් පිරිත් දේශනාවක ආනිසංස වඩාත් වර්ධනය කර ගත හැක. පාළි භාෂාව නොදැනීම නිදහසට කාරණයක් නොවන බවද සිතාගත යුතුය. පාළි භාෂාවෙන් පිරිත් දේශනා කළ ද සිංහල භාෂාවෙන් ඒවායේ අර්ථය විස්තර කර දී ඇති ධර්ම ග්‍රන්ථයන් සුලභව ඇති බැවින් ඒවායෙන් බලා අර්ථය දැනගැනීම තමන්ගේ යුතුකමකි. සුදුසු අවස්ථාවන්හි දී පිරිත් දේශනාවන් ආරම්භයේදී හා පිරිත් දේශනාවන් අතරතුර දී හා පිරිත් දේශනා අවසානයේ දී තමන් විසින් සිදුකල යුතු වත් පිළිවෙත් පිළිබඳව ද දැනගෙන සාධුකාර දීම්, සුවඳ දුමින් පූජාවන් සිදු කිරීම් ද බෙර වාදනය කරන්නන් විසින් ඊට නියමිත බෙර වාදනයන් සිදු කිරීමද අනිවාර්යෙන්ම සිදු කළ යුතු කටයුත්තක් වේ. උදාහරණ ලෙස ධම්මචක්කප්පවත්තන සූත්‍රය හා ආටානාටිය සූත්‍ර දේශනාවන් ආරම්භයේ දී හා ඒ අතරතුර දී ද අවසානයේ දී ද සුදුසු හා නියමිත තැන්හිදී සාධුනාද පවත්වමින්, බෙර වාදනය කරමින් ශබ්ද පූජා පැවැත්විය යුතුය. මොනම හේතුවක් නිසාවත් කවර අවස්ථාවකදීවත් පිරිත් ධර්මය පාළි භාෂාව හැර වෙනත් භාෂාවකින් දේශනා නොකළ යුතුය. එයින් පිරිතෙන් ලද හැකි ආනිසංස ඉතා හීන තත්වයකට පත් වේ. පිරිතෙහි හා ධර්ම දේශනාවක වෙනස කුමක් දැ යි ප්‍රථමයෙන්ම දේශකයාණන් වහන්සේලා විසින් දැනගත යුතුය. පිරිත වනාහි පාළි භාෂාවෙන්ම පමණක් සිදුකල යුතු සුවිශේෂී ධර්ම කොට්ඨාසයකි. එසේම පිරිත් ධර්මය දේශනා කිරීමේ දී එහි වචන උච්චාරණය කරන ආකාරය පිළිබඳව අවබෝධයක් දේශකයා තුල මෙන්ම ශ්‍රාවකයා තුලද තිබිය යුතුය. එකම පිරිත් සූත්‍රයේ වුවද විවිධ ස්ථානයන්හි දී පිරිත් කියනු ලබන ආකාරය වෙනස් වන ගාථාවන් ද ඇත. එවැනි තැන්හි දී නියමිත පරිද්දෙන් එම ගාථාවන් ඊට අදාළ ආකාරයෙන් සජ්ඣායනා කළ යුතුය. උදාහරණ ලෙස පහත එවැනි ස්ථාන කිහිපයක් සඳහන් කරන්නෙමු. 
1.ඉසිගිලි සූත්‍රය  
මෙම සූත්‍ර දේශනාව සිදු කිරීමේදී ‘භාවිතත්තෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසීතී’ යන තැනින් පසුව පටන් ගනු ලබන ‘යේ සත්තසාරා අනීඝා නිරාසා පච්චේකමේවජ්ඣගමුං සුබෝධිං’ යන ගාථාවේ පටන් පිරිත පෙර සජ්ඣායනා කරන ලද ආකාරයෙන්/ තාලයෙන් වෙනස්ව තරමක් ගාථාව අදින්නාක් මෙන් ලාලිත්‍යමය ස්වරූපයෙන් අවසානය තෙක් සජ්ඣායනා කළ යුතුය. එය කවියක් කියන්නාක් මෙන් සිදුකරනු ලැබේ. නමුත් කවියක් මෙන් නොකිව යුතුය.  
2.මහා සමය සූත්‍රය  
මහා සමය සූත්‍ර දේශනාවෙහි ද මෙසේ සූත්‍ර ධර්මය දේශනා කරන සාමාන්‍ය ක්‍රමය අතරතුර දී විශේෂයෙන් පෙර ලෙස මදක් ලාලිත්‍යමය ස්වරූපයෙන් යුක්තව පෙර පිරිත සජ්ඣායනා කරන ලද ස්වරය, තාලය මදක් වෙනස් කොට සජ්ඣායනා කළ යුතු ගාථා ධර්මයන් දෙකක් වේ. එනම් ‘යේ නාගරාජේ සහසා හරන්තී දිබ්බා දිජා පක්ඛි විසුද්ධචක්ඛූ,....’ යන ගාථාවත් ‘අභයං තදා නාගරාජානමාසි සුපන්නතෝ ඛේමමකාසි බුද්ධෝ,...’ යන ගාථා ධර්මයන් දෙකය. මෙම ගාථාවන් සජ්ඣායනා කිරීමේදී විශේෂයෙන් ඒ ඒ කොටස් සඳහා භාවිතා කළ යුතු තාලයන් / ස්වරයන් මනාව භාවිතා කළ යුතුය.  
මෙසේ පිරිත් ධර්මය දේශනා කිරීමේ දී පිරිත සජ්ඣායනා කරනු ලබන දේශකයාණන් වහන්සේලාට ඒ පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුය. දීර්ඝ ලෙස උච්චාරණය කළ යුතු වචන දීර්ඝ ලෙස ද ලඝුව උච්චාරණය කළ යුතු වචන ලඝුව ද උච්චාරණය කළ යුතුය. මනාකොට වචන වෙන් කර සජ්ඣායනා කළ යුතු තැන මනාව වචන වෙන් කොට සජ්ඣායනා කළ යුතුය. අදාළ තාලයන්ට අනුව පිරිත් ධර්මය සජ්ඣායනා කළ යුතුය. ගීත ගායනා කරන්නාක් මෙන් පිරිත් දේශනාවන් සිදු නොකළ යුතුමය. පිරිත ඊට අදාළ නියමිත ආකාරයෙන් දේශනාකළ යුතු අතර තම තමන්ට උවමනා අත්තනෝමතික ආකාරයෙන් දේශනා ශෛලීන් භාවිතා නොකළ යුතුය.
ගීතස්සර සූත්‍රය:- 
        පඤ්චිමේ භික්ඛවේ ආදීනවා ආයතකේන ගීතස්සරේන ධම්මං භණන්තස්ස. කතමේ පඤ්ච:
  • Ø අත්තනාපි තස්මිං සරේ සාරජ්ජති
  • Ø පරේපි තස්මිං සරේ සාරජ්ජන්ති
  • Ø ගහපතිකාපි උජ්ඣායන්ති: ‘යථේව මයං ගායාම, ඒවමේව ඉමේ සමණා සක්කියපුත්තියා ගායන්තී’ති
  • Ø සරකුත්තිම්පි නිකාමයමානස්ස සමාධිස්ස භංගෝ හෝති
  • Ø පච්ඡිමා ජනතා දිට්ඨානුගතිං ආපජ්ජති
මහණෙනි, දීර්ඝ ගීතස්වරයෙන් ( ගාථා වෘත්තය වනසා ) දහම් දේශනා කරන්නන්ට දොස් පහක් ඇති වේ. කවර පහක් ද යත්: 
  • Ø තමන්ම එම ස්වරයෙහි ඇලීමට පත් වේ 
  • Ø අන්‍යයෝ ද ඒ ස්වරයෙහි ඇලෙති  
  • Ø ‘අපි යම් සේ ගීත ආකාරයෙන් යමක් ගායනා කරන්නෝ නම්, මේ ශ්‍රමණ සාක්‍යය පුත්‍රයෝත් එලෙසින්ම ගයනා කරති’ යි ගෘහපතියෝ අවඥා කරති  
  • Ø තමන්ගේ ස්වරය පමණක්ම ප්‍රාර්ථනා කරන්නවුන්ගේ සමාධිය විනාශයට පත් වේ 
  • Ø පසුව පැවිදිවන ජනතාව එය ආදර්ශයට ගෙන එලෙසින්ම වැරදි ලෙස කටයුතු කිරීමට පෙළඹෙති 
(සූත්‍ර පිටකය. අංගුත්තර නිකාය. පඤ්චක නිපාතය. පඤ්චම පණ්ණාසකය. 01 වන කිම්බිල වර්ගය. 09 වන සූත්‍රය. ගීතස්සර සූත්‍රය. 2550 බු.ජ.ත්‍රි.පිටුව- 404/405)  
පිරිත් දේශනාවකදී විශේෂයෙන්ම සර්වරාත්‍රික පිරිත් දේශනාවක දී මංගල සමත කටයුත්තක් ලෙස බෙර වාදනය සිදු කරනු ලබයි. එහිදී එම වාදකයන් විසින් එම පිරිත සඳහා විශේෂ ඇඳුම් ආයිත්තම් වලින් සැරසී සිටිනු දැකිය හැක. මෙය අනිවාර්ය අංගයකි. ඒ සුදුසු අවස්ථාවන්හි දී ශබ්ද පූජාවන් සිදු කිරීම සඳහා ය. එසේ විශේෂ වශයෙන් සූදානම් වූ පසුව පසුවදා පිරිතෙහි වැඩ අවසන් වී සංඝයා විෂයෙහි සංඝගත දක්ෂිණාව ද අවසන් වන තුරු එම ඇඳුමින්ම සැරසී සිටිය යුතුමය. අතරමැද දී වෙනත් ඇඳුම් නොඇඳිය යුතුය. මෙයද බොහෝ ස්ථානයන්හි සිදුවන ප්‍රකට වරදකි.  
පිරිත් ධර්මය සජ්ඣායනා කිරීමේදී ගිහි පැවිදි සියල්ලෝම විසින් මෙම දොස් දුරුකර ගැනීමට උත්සාහවත් වීමෙන් පිරිතෙන් තමන්ටත් අනුන්ටත් ලබාගත හැකි නියමාකාර ආරක්‍ෂාව හා සෙත ලබාගත හැකි බව විශේෂයෙන් දැනගත යුතුය. දැනගෙන නියමාකාරයෙන් ඒ ඒ කටයුතු සිදුකල යුතුය. 
මෙම ලිපියෙහි පළමු කොටස තව තවත් දීර්ඝ වන බැවින් මෙහි දෙවන කොටසක් එක් කිරීමට බලාපොරොත්තු වෙමු. එහිදී පිරිත හා සහසම්භන්ධ උපචාර විධි, වත් පිළිවෙත්, පිරිතකදී පූර්ව කටයුතු, මණ්ඩපයක් සකස්කර ගන්නා ආකාරය ආදී කටයුතු පිළිබඳවත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු. 
  
ඇරැව්වල සුධම්ම හාමුදුරුවෝ. 

No comments:

Post a Comment